ප්‍රජනනය (REPRODUCTIVE) 04

ඔපස්/ආර්ථව චක්‍රය (Menstrual Cycle) සහ ඔපස් චක්‍රය සදහා බලපාන හෝමෝනමය ක්‍රියාවලිය


“ප්‍රජනනය” නම් මානව විශේෂයේ අඛණ්ඩතාවය පවත්වා ගැනීම සදහා ක්‍රියාත්මක වන ක්‍රියාවලිය සදහා ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ (Female Reproductive System) බලපෑම මනාව නිරූපණය කරනු ලබන ක්‍රියාවලියක් ලෙසට “ඔපස් චක්‍රය” (Menstrual Cycle) හැදින්විය හැකිය. මෙම ක්‍රියාවලිය සදහා ප්‍රධාන වශයෙන් බලපානු ලබන්නේ හෝමෝනමය යාන්ත්‍රණයක් වේ.

ලිපිය මගින් ප්‍රජනනයේ පහත සඳහන් කොටස් වලට අදාළව කරුණු දක්වා ඇත.

1 . මානව ඔපස්/ ආර්ථව චක්‍රය (Menstrual Cycle)

2 . මානව ඔපස් චක්‍රය කෙරෙහි බලපාන හෝමෝනමය යාන්ත්‍රණය

3 . ආර්ථවහරණය / ආර්ථවාභාවය (Menopause) ÷

ඔපස්/ ආර්ථව චක්‍රය (Menstrual Cycle) ÷

ඔපස් චක්‍රය යනු, යෞවනෝදය සිදුවී ලිංගික පරිණතය ඇතිවූ නීරෝගී ස්ත්‍රියකගේ සාමාන්‍යයෙන් දින 24 – 35 කට වරක් ගර්භණී නොවන කාළයේදී ඩිම්බකෝෂ සහ ගර්භාෂයික එන්ඩොමෙට්‍රියමේ දායකත්වයෙන් සිදුවන චක්‍රීය ක්‍රියාවලි ශ්‍රේණියකි. එනම්, මෙම චක්‍රය ක්‍රියාත්මක වනුයේ එක් ආර්ථව අවස්ථාවක අවසානයේ සිට ඊට අනුරූපී ආර්ථව අවස්ථාවේ අවසානය දක්වාය. මේ සදහා බොහෝවිට ගතවන කාළය දින 28 ක් පමණ වේ.

picsart_01-12-01.17.54

මෙම ඔපස් චක්‍රය තුළ ප්‍රධාන ආකාර දෙකක් යටතේ වෙනස්කම් සිදුවේ,

1 . ඩිම්බකෝෂය ආශ්‍රිතව සිදුවන වෙනස්කම්

ඩිම්බකෝෂයේ දී ස්‍යුනිකා වල සිදුවන වර්ධනයන් සහ ඒවා පිපිරීමෙන් සිදුවන ඩිම්බ මෝචනයන් නිසා මෙම වෙනස්කම් ඇතිවේ.

2 . ගර්භාෂයික එන්ඩොමෙට්‍රියම ආශ්‍රිතව සිදුවන වෙනස්කම්

එන්ඩොමෙට්‍රියමේ සිදුවන නව පටක වර්ධනයන්, හෝමෝනමය වෙනස්කම් නිසා පටක වල බිදවැටීම්, රුධිර වාහිනී වැඩි වශයෙන් වාහීනීමත් වීම සහ ශ්ලේෂ්මල ග්‍රන්ථි වලින් සිදුවන ශ්ලේෂ්මල ඝ්‍රාවය නිසා මෙම වෙනස්කම් ඇතිවේ.

ඔපස් චක්‍රය තුලදී ඩිම්බකෝෂය ආශ්‍රිතව සිදුවන වෙනස්කම් ÷

1 . ස්‍යුනිකාමය අවධිය (Follicular Phase)

2 . ලුටීය අවධිය / පීතදේහ අවධිය (Luteal Phase)

ඔපස් චක්‍රය තුලදී ගර්භාෂයික එන්ඩොමෙට්‍රියම ආශ්‍රිතව සිදුවන වෙනස්කම් ÷

1 . ප්‍රගුණන අවධිය (Proliferative Phase)

2 . ඝ්‍රාවීය අවධිය (Secretory Phase)

3 . ආර්ථව/ ඔපස් අවධිය (Menstrual Phase)

ස්‍යුනිකාමය අවධිය (Follicular Phase) ÷

මෙය සිදුවන්නේ ඩිම්බකෝෂයේ සිදුවන වෙනස්වීම් නිසාය. එහිදී, ඩිම්බකෝෂයේ බාහිකයේ පවතින අපරිණිත ස්‍යුනිකා කිහිපයක් හෝමෝනමය වෙනස්වීම් නිසා වර්ධනය වීමට පටන්ගනී. මින් එක් ප්‍රාථමික ස්‍යුනිකාවක් පමණක් ග්‍රාපී ස්‍යුනිකාවක් බවට වර්ධනය වීමක් මෙහිදී සිදුවේ.

එහිදී, මුල් ප්‍රාථමික ස්‍යුනිකාවේ පැවති ද්වීගුණ ප්‍රාථමික අණ්ඩ සෛලය ඌනනය විභාජනයට ලක්වී ඒකගුණ ද්වීතියික අණ්ඩ සෛලය බවට පත්වී එහි ඇති ග්‍රාපීය කූපය පුපුරා යාමෙන් ද්වීතියික අණ්ඩ සෛලය හෙවත් ඩිම්බය ඩිම්බකෝෂයෙන් මුදාහැරීමක් සිදුවේ.

එහිදී ස්‍යුනිකාමය අවධිය අවසන් වේ. දින 28 ක ආර්ථව චක්‍රයෙන් මෙම ස්‍යුනිකාමය අවධිය සදහා දින 14 ක් වැයවී ඇත. FSH හෙවත් ස්‍යුනික උත්තේජක හෝමෝනය මෙම ස්‍යුනිකාමය අවධිය සදහා දායක වන අතර ස්‍යුනිකාමය අවධියේදී ඩිම්බකෝෂ මගින් ඊස්ට්‍රජන් නම් ලිංගික හෝමෝනය මුදාහරී. ඒ සදහා ග්‍රාපීය ස්‍යුනිකා වල ස්‍යුනික සෛල දායක වේ.

අමතර ÷

human-ovulation-caught-on-camera-1මෙම රූපසටහනෙන් දැක්වෙනුයේ ඩිම්බකෝෂය (Ovary) තුළ පවතින (ග්‍රාපී) ස්‍යුනිකාවක් (Follicle) මගින්, ඩිම්බයක් (Egg) මෝචනය කරන ලද ආකාරයයි.

රූපසටහනේ පද හැදින්වීම ÷

Ovary …………………….. ඩිම්බකෝෂය

Follicle …………………….. (ග්‍රාපී) ස්‍යුනුකාව

Egg ……………………………. ඩිම්බය

Surgery instrument ……… ශල්‍ය උපකරණය

ලුටීය අවධිය (Luteal Phase) ÷

මෙම අවධියද ඩිම්බකෝෂය තුළ සිදුවේ. ඒ සදහා සාමාන්‍යයෙන් දින 10 – 14 ක් වැනි කාළයක් ගතවේ. එහිදී, පළමු අවධියේදි ඩිම්බ මෝචනයෙන් පසුව ඩිම්බකෝෂය තුළ ඉතිරි වන්නේ ස්‍යුනික සෛල ස්ථර කිහිපය වේ. මේවා තවදුරටත් ගුණනය වී පීතදේහය බවට පත්වේ. මෝචනය වූ ඩිම්බය, ශූක්‍රාණුවක් මගින් සංසේචනය නොවුනේනම් එම ඩිම්බය මෝචනය වී දින 10 -14 කින් පමණ සිදුවන හෝමෝනමය වෙනස්කම් නිසා ක්‍රමයෙන් මෙම පීතදේහය පරිහානී වී ශ්වේත දේහයක් බවට පත්වේ.

පීතදේහය යනු, හෝමෝන සංසේලේශණය කරන අන්තරාසර්ගී ග්‍රන්ථියක් වේ. ලුටීය අවධියේදී පීතදේහය මගින් වැඩිමනත් ප්‍රොජෙස්ටරෝන් සහ අඩු මනත් ඊස්ට්‍රජන් ඝ්‍රාවය කරයි. පීතදේහය වර්ධනය වීම සදහා සහ එහි පැවැත්ම සදහා LH හෙවත් ලුටෙයිනිකරණ හෝමෝනය දායක වේ.

ප්‍රගුණන අවධිය (Proliferative Phase) ÷

මෙය ගර්භාෂයේ එන්ඩොමෙට්‍රියමේ සිදුවන වෙනස්කම් නිසා ඇතිවන අවධියක් වේ. දින 10 – 16 ත් අතර සංඛ්‍යාවක් මෙම අවධිය ක්‍රියාත්මක වේ. මෙහිදී බලපෑම් ඇතිකරනු ලබන්නේ, ගර්භාෂයික එන්ඩොමෙට්‍රියමට (Endometrium) වේ. මෙම ප්‍රගුණන අවධියේදී ගර්භාෂයික එන්ඩොමෙට්‍රියමේ විවිධ බලපෑම් ඇතිවීම සදහා ඊස්ට්‍රජන් හෝමෝනය ප්‍රධාන වශයෙන් බලපානු ලැබේ.

මෙම අවධියේදී එන්ඩොමෙට්‍රියමේ ඇතිවන වෙනස්කම් ÷

1 . එන්ඩොමෙට්‍රියමේ සෛල අනූනනය විභාජනයට ලක්වෙමින් එහි ස්ථරයේ ඝණකම වැඩිකරයි.

2 . රුධිර වාහීනී සහ ශ්ලේෂ්මල ග්‍රන්ථි වල දිග හා වාහීනීමත් භාවය වැඩිකරයි.

ඩිම්බ කෝෂයේදී සිදුවන ඩිම්බ මෝචනය සමගම එන්ඩොමෙට්‍රියමේ මෙම ප්‍රගුණන අවධිය අවසන් වේ.

ඝ්‍රාවීය අවධිය (Secretory Phase) ÷

මෙය ගර්භාෂයික එන්ඩොමෙට්‍රියමේ සිදුවන වෙනස්කම් නිසා ඇතිවන අවධියක් වේ. මෙය සදහා දින 14 ක කාළයක් ගතවේ. ඩිම්බකෝෂයෙන් ඩිම්බ මෝචනය සහ ආර්ථවය අතර පිහිටන කාළය මෙය වේ.

(ඩිම්බකෝෂය සහ ගර්භාෂය අතර සිදු වෙන  වෙනස්කම්  සංසන්දනය වෙනම මාතෘකාවක් තුළ පවතී).

මෙම අවධියේදී එන්ඩොමෙට්‍රියම ආශ්‍රිතව සිදුවන වෙනස්වීම් ÷

1 . රුධිර වාහීනී තවදුරටත් වර්ධනය වී, දඟර ගැසී, ඒවා අතිශය වාහිනීමත් වේ.

2 . ශ්ලේෂ්මල ග්‍රන්ථි මගින් ශ්ලේෂ්මල ඝ්‍රාවය අධිකව වර්ධනය වේ. ඊට අමතරව පැලෝපීය නාළ මගින් සහ ග්‍රීවයෙන්/ ගැබ් ගෙලෙන් අධික වශයෙන් ශ්ලේෂ්මල ඝ්‍රාවයක් සිදුවේ.

3 . එන්ඩොමෙට්‍රියමේ පටක වර්ධනය වැඩිවී එහි ඝණකම තවදුරටත් වැඩිවේ.

මෙම එන්ඩොමෙට්‍රියමේ සිදුවන ක්‍රියාවලීන් නිසා ප්‍රධාන කරුණු කිහිපයක් බලාපොරොත්තු වේ.

ඒවානම් ,

1 . මෝචනය වූ ඩිම්බය සංසේචනය වුවහොත්, එය අධිරෝපණය  කිරීම සදහා එන්ඩොමෙට්‍රියමේ සුදුසු වටපිටාවක් සූදානම් කිරීම.

2 . එන්ඩොමෙට්‍රියම, ගැබ් ගෙල සහ පැලෝපීය නාළ ප්‍රදේශ වල ශ්ලේෂ්මල ඝ්‍රාවය මගින් ඇතුළු වූ ශූක්‍රාණු වලට ඩිම්බය දක්වා පිහිනීමේ මාධ්‍යක් ඇතිකිරීම.

මෙම අවධියේදී ඉහතින් දැක්වූ වෙනස්කම් ඇතිවීම සදහා ගර්භාෂයික එන්ඩොමෙට්‍රියම මත ප්‍රොජෙස්ටරෝන් නම් හෝමෝනය බලපෑම් ඇතිකරයි.

ආර්ථව/ ඔපස් චක්‍රය (Menstrual Phase) ÷

මෙම අවධිය ගර්භාෂයික එන්ඩොමෙට්‍රියම ආශ්‍රිතව ඇතිවේ. මෙහිදී ඩිම්බය සංසේචනයක් සිදු නොවුනහොත් මෙම අවධිය ගර්භාෂය ආශ්‍රිතව සිදුවේ. මේ සදහා දින 3 – 5 ක් අතර කාලයක් ගතවේ. මෙහිදී සිදුවන්නේ ගර්භාෂයික එන්ඩොමෙට්‍රියමේ සෛල වලට අවශ්‍ය පෝෂක සහ ඔක්සිජන් / O2 විවිධ හෝමෝනමය ක්‍රියා හේතුවෙන් නොලැබී යාම නිසා මෙම ගර්භාෂයික එන්ඩොමෙට්‍රියමේ සෛල හැකිලී පටක ගැලවී යාමයි.

මෙහිදී මෙම පටක මියයාම නිසා ගර්භාෂයික එන්ඩොමෙට්‍රියමේ පටක, රුධිර සහ ශ්ලේෂ්මල වාහිනී සහ මෝචනය වූ ඩිම්බය ඔපස් තරලය ලෙසට පිටවේ. මෙහිදී පිටවන ඔපස් තරලය 50 – 200 ml අතර අගයක් ගනී. ඩිම්බකෝෂයේ ප්‍රාථමික ස්‍යුනිකා, ග්‍රාපීය ස්‍යුනිකා බවට පත්වන ස්‍යුනික අවධිය තුළදී මෙය සිදුවේ.

ඔපස් චක්‍රයේදී ඩිම්බ කෝෂයේ සහ ගර්භාෂයික එන්ඩොමෙට්‍රියමේ සිදුවන ක්‍රියාවන් අතර ඇති සම්බන්ධතාවය ÷

1 . ඩිම්බකෝෂයේ ප්‍රාථමික ස්‍යුනිකා, ග්‍රාපීය ස්‍යුනිකා බවට හෝමෝන මගින් පත්වී ඉන් පසුව ඩිම්බ මෝචනය වන ස්‍යුනික අවධිය “Follicular Phase” , ගර්භාෂයික එන්ඩොමෙට්‍රියමේ ආර්ථවය සිදුවන ඔපස් අවධිය “Menstrual Phase” සහ එන්ඩොමෙට්‍රියමේ පටක වර්ධනය වී එහි ඝණකම වැඩිවන ප්‍රගුණන අවධියට “Proliferative Phase” සමාන වේ.

2 . ලුටීය අවධියේදී (Luteum Phase) ඩිම්බ කෝෂයෙන් ඩ්ම්බය නිකුත් වී ඉතිරි ස්‍යුනික සෛල වලින් පීතදේහය තැනී අන්තරාසර්ගී ග්‍රන්ථියක් ලෙසට ක්‍රියාකරන විට, මෝචනය වූ ඩිම්බය සංසේචනය වුවහොත් එය ගර්භාෂයික එන්ඩොමෙට්‍රියම තුළ අධිරෝපණ කර ගැනීම සදහා ඝ්‍රාවීය අවධියේදී (Secretory Phase) ගර්භාෂයික එන්ඩොමෙට්‍රියම තුළ දී රුධිර වාහීනී සහ ශ්ලේෂ්මල ග්‍රන්ථි වල වාහිනීමත් භාවය වැඩි කිරීම (එන්ඩොමෙට්‍රියමේ ඝණකම වැඩිකිරීම) සහ අධික ලෙසට එන්ඩොමෙට්‍රියම සහ ගැබ්ගෙල ආශ්‍රිතව ශ්ලේෂ්මල ඝ්‍රාවයක් සිදුකරයි.

ස්ත්‍රී ඔපස් චක්‍රය සදහා බලපාන හෝමෝනමය ක්‍රියාවලිය සහ ඝෘණ ප්‍රථිපෝෂී යාන්ත්‍රිණය ÷

මෙම කොටස සම්බන්ධයෙන් ප්‍රධාන මාතෘකා දෙකක් යටතේදී කරුණු දැක්විය හැකිය.

1 . ඔපස් චක්‍රය සදහා බලපානු ලබන හෝමෝන සහ ඒවා නිපදවන අන්තරාසර්ගී ග්‍රන්ථි

2 . හෝමෝන මගින් ස්ත්‍රී ආර්ථව චක්‍රය පාලනය කරනු ලබන ආකාරය

1 . ඔපස් චක්‍රය සදහා බලපානු ලබන හෝමෝන සහ ඒවා නිපදවන අන්තරාසර්ගී ග්‍රන්ථි ÷

මානව සමායෝජනය සහ සමස්ථිතිය පවත්වා ගැනීම සදහා හෝමෝන ප්‍රධාන කාර්‍යභාරයක් සිදුකරයි. හෝමෝන නිපදවීම අන්තරාසර්ගී ග්‍රන්ථි වල සිදුවන අතර ඒවා රුධිරය ඔස්සේ අදාල ඉලක්කගත වූ අවයව වෙතට ගමන් කිරීමක් සිදුවේ.

picsart_01-14-03.48.42මෙම රූපසටහන මගින් නිරූපණය කරනු ලබන්නේ අන්තරාසර්ග ග්‍රන්ථි මගින් හෝමෝන ඝ්‍රාවය කරනු ලබන ආකාරය සහ එම හෝමෝන මගින් ඉලක්ක ගත කරනු ලබන අවයවයන්‍ ය.

රූපසටහනේ පද හැදින්වීම ÷

Ovarian Cycle………………………..ඩිම්බ චක්‍රය

Primordial Follicles…….මූලික ජන්මාණුක සෛල

Primary Follicles…………………මාතෘ අණ්ඩ සෛල

Secondary Follicle…………………..ප්‍රාථමික ස්‍යුනිකා

Follicular Phase………………….ස්‍යුනික අවධිය

Estrogen…………………………………ඊස්ට්‍රජන්

Progesterone………………………ප්‍රොජෙස්ටරෝන්

Hypothalamus………………………හයිපොතැලමස

Anterior Pituitary gland…………..පූර්ව පිටියුටරිය

Mature (Graafian) Follicle…………ග්‍රාපීය ස්‍යුනිකා

Ovulation……………………………….ඩිම්බ මෝචනය

Corpus albicans………………………..පීත දේහය

Corpus albicans………………………ශ්වේත දේහය

Luteum phase………………………….ලුටීය අවධිය

ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය මත ක්‍රියාකරන හෝමෝන සහ ඒවා නිපදවන අන්තරාසර්ගී ග්‍රන්ථි පහත ලෙසට දැක්විය හැකිය.

හයිපොතැලමස = GnRH

පූර්ව පිටියුටරිය = FSH (ස්‍යුනික උත්තේජක හෝමෝනය)
LH (ලුටෙයිනිකරණ හෝමෝනය)

ඩිම්බකෝෂය = ඊස්ට්‍රජන් , ප්‍රොජෙස්ටරෝන්

ඊස්ට්‍රජන් හෝමෝනය ඩිම්බකෝෂයේ ග්‍රාපී ස්‍යුනිකා වල ඇති ස්‍යුනික සෛල වලින් සහ පීතදේහයෙන් සුළු වශයෙන් ඝ්‍රාවය කරන අතර ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය ඩිම්බකෝෂය තුළ ඇති පීතදේහය මගින් වැඩි වශයෙන් ඝ්‍රාවය කරයි.

මීට අමතරව, සංසේචනයක් වී යුක්තානුව සෑදීමක් වුවහොත් එය අධිරෝපණය වූ පසුව කළලයේ වර්ධනය සහ ගර්භණීභාවය පවත්වා ගැනීම සදහා පීතදේහය සජීවීව තබාගැනීමට කළල බන්ධය මගින් hCG හෝමෝනය නිපදවයි.

ප්‍රජනක හෝමෝන මගින් සිදුකරන කෘතය ÷

1 . GnRH = මෙය ඝෘණ ප්‍රතිපෝෂී යාන්ත්‍රණයක් මගින් උත්තේජනය වීමක් සිදුවී හයිපොතැලමස තුළ නිපදවී පූර්ව පිටියුටරි හෝමෝනයන් වන FSH සහ LH හෝමෝන ඝ්‍රාවය උත්තේජනය කරවයි.

2 . FSH (ස්‍යුනික උත්තේජක හෝමෝනය) = මෙහි ඉලක්ක අවයවය වන්නේ ඩිම්බකෝෂයේ පවතින ප්‍රාථමික ස්‍යුනිකාවන් වේ. මෙහිදී මෙම හෝමෝනය ප්‍රාථමික ස්‍යුනිකා රාශියක් මත ක්‍රියාකර ඉන් එක් ප්‍රාථමික ස්‍යුනිකාවක් පමණක් ග්‍රාපීය ස්‍යුනිකාවක් බවට වර්ධනය කිරීමට උත්තේජනය කරයි.

3 . LH (ලුටෙයිනිකරණ හෝමෝනය) = මෙහි ඉලක්ක අවයවය වනුයේ ඩිම්බකෝෂයේ පවතින ග්‍රාපී ස්‍යුනිකා වේ. මෙම ග්‍රාපීය ස්‍යුනිකා මතට මෙම හෝමෝනය ක්‍රියාකිරීම නිසා ඩිම්බ මෝචනය සිදුවීම උත්තේජනය වේ. ඊට අමතරව පීතදේහය ඇතිවීම සහ එය වර්ධනය වී එහි සජීවීභාවය පවත්වා ගැනීම මෙම හෝමෝනය මගින් උත්තේජනය කරවයි.

4 . ඊස්ට්‍රජන් = මෙහි ඉලක්ක අවයවයන් කීපයක් පවතී. මෙම ක්‍රියාවලිය තුළදී පවතින ප්‍රධානතම ඉලක්ක අවයවය වන්නේ, ගර්භාෂයික එන්ඩොමෙට්‍රියම වේ. ප්‍රගුණන අවධිය සදහා මෙම හෝමෝනය ක්‍රියාකර ගර්භාෂයික එන්ඩොමෙට්‍රියමේ පවතින පටක, රුධිර වාහීනී සහ ශ්ලේෂ්මල ග්‍රන්ථි වල වැඩි වර්ධනයක් වීම උත්තේජනය කරයි.

5 . ප්‍රොජෙස්ටරෝන් = මෙහි ඉලක්ක අවයව වන්නේ, ගර්භාෂයික එන්ඩොමෙට්‍රියම සහ පූර්ව පිටියුටරිය වේ. ඝ්‍රාවීය අවධියේදී (Secretory Phase) මෙම හෝමෝනය මගින් ශ්ලේෂ්මල ග්‍රන්ථි ඇතිවීම, එහි වර්ධනය සහ පටක වල ඝණකම වැඩිවීම උත්තේජනය කරන අතර එම ශ්ලේෂ්මල ග්‍රන්ථි මගින් සිදුවන ශ්ලේෂ්මල ඝ්‍රාවය ද වැඩිකරයි.

පූර්ව පිටියුටරිය මතට මෙය ක්‍රියාකරනුයේ ඝෘණ ප්‍රතිපෝෂී යාන්ත්‍රණයක් සදහාය. එහිදී පීතදේහය මගින් ඝ්‍රාවය කරන ප්‍රොජෙස්ටරෝන් හෝමෝන සාන්ද්‍රණය රුධිරයේ වැඩිවූ විට එය අඩුකිරීම සදහා පූර්ව පිටියුටරි හෝමෝන ඝ්‍රාවය නිශේධනය වේ.

ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් මගින් ස්ත්‍රී ද්වීතියික ලිංගික ලක්ෂණ ඇතිකිරීම සහ ඒවා පවත්වා ගෙනයාම සිදු කරයි.

2 . හෝමෝන මගින් ස්ත්‍රී ආර්ථව චක්‍රය පාලනය කරනු ලබන ආකාරය ÷

ඔපස් චක්‍රයක් යනු, එක් ඔපස් වීමක (Menstruation) අවසානයේ සිට තවත් ඔපස් චක්‍රයක අවසානය දක්වා සිදුවන චක්‍රීය ක්‍රියාවලියකි. එමනිසා, ඔපස් චක්‍රයක් විස්තර කිරීමේ ආරම්භක දිනය ලෙසට ඔපස්/ ආර්ථව අවධියේ (Menstrual Phase) පළමු දිනය හැදින්විය හැකිය.

ovulating

මෙම රූපය මගින් නිරූපණය කරනු ලබන්නේ, ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව සිදුවන ආර්ථව චක්‍රය, එහිදී ක්‍රියාකරන ගර්භාෂයේ සහ එන්ඩොමෙට්‍රියමේ වෙනස්කම් සහ ඒ සදහා ක්‍රියාකරන හෝමෝනමය වෙනස්කම්‍ ය.

ප්‍රධාන කොටස් හැදින්වීම ÷

1 . Gonadotrophic Hormone Level

රුධිරයේ පවතින ගොනැඩොපෝෂී හෝමෝන (LH, FSH) මට්ටම.

2 . Ovarian Cycle

ඩිම්බ / ඔපස් චක්‍රය, මෙහිදී ඩිම්බ කෝෂය තුළ ඩිම්බ වර්ධනය නිරූපණය වේ.

3 . Ovarian hormone levels

ඩිම්බ චක්‍රයේ විවිධ අවස්ථාවන් නිසා රුධිරයේ පවතින හෝමෝන (ඊස්ට්‍රජන්, ප්‍රොජෙස්ටරෝන්) මට්ටම නිරූපණය වේ.

4 . Uterine Cycle

ගර්භාෂයික චක්‍රය, ගර්භාෂයික එන්ඩොමෙට්‍රියමේ සිදුවන වෙනස්කම් මෙහිදී නිරූපණය වේ.

රූපසටහනේ පවතින පද හැදින්වීම ÷

Phase Of Ovarian Cycle
ඩිම්බ/ ඔපස් චක්‍රයේ පවතින අවධි

Follicular Phase ………………….ස්‍යුනික අවධිය

Luteum Phase ……………………..ලුටීය අවධිය

Phase Of the Uterine Cycle
ගර්භාෂයික චක්‍රයේ පවතින අවධි

Menses ……………………………………ඔපස්වීම

Proliferative Phase ………………….ප්‍රගුණන අවධිය

Secretory Phase …………………….ඝ්‍රාවීය අවධිය

Primary Follicle ………………..ප්‍රාථමික ස්‍යුනිකා

Theca ………………………………….පේටිකාව

Antrum …………………………………ජායා කෝටරය

Ovulation …………………………..ඩිම්බ මෝචනය

Corpus luteum formation
පීත දේහය නිර්මාණය / ආකෘතිය

Mature Corpus luteum
පරිණත/ පරිහානිය වන පීතදේහය

Corpus albicans …………………..ශ්වේත දේහය

ඉහත රූපයට අදාළ පැහැදිලි කිරීම අංකනය කිරීම් සහිතව පහතින් දක්වා ඇත.

සාමාන්‍යයෙන් ඔපස් චක්‍රයක ආරම්භය ලෙසට සලකනු ලබන්නේ, ගර්භාෂයික එන්ඩොමෙට්‍රියමේ ඔපස් අවධියේ (Menstrual Phase) ආරම්භක දිනය වේ. එය ඔපස්/ ආර්ථව චක්‍රයේ නිර්වචනය තුළින් ම පැහැදිලි වේ.

1 . ගර්භාෂයික ආර්ථව/ ඔපස් අවධිය, ප්‍රගුණන අවධිය (Menstrual & Proliferative Phase) සහ ඩිම්බකෝෂයේ ස්‍යුනික අවධිය (Follicular Phase) තුළ සිදුවන ඔපස් චක්‍රය සලකා ÷

මෙම සමස්ත ක්‍රියාවලිය සදහා දින 14 ක් ගතවේ. ප්‍රගුණන අවධිය සදහා දින 10 – 16 ක්, ආර්ථව අවධිය සදහා දින 3 – 5 ක් සහ ස්‍යුනික අවධිය (Follicular Phase) සදහා දින 14 ක් ගතවේ.

ආර්ථව අවධිය ආරම්භයේදී පීතදේහය මගින් අධික ප්‍රොජෙස්ටරෝන් සාන්ද්‍රණයක් නිපදවීම නිසා ඝෘණ ප්‍රතිපෝෂී යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වී මෙම රුධිරයේ ඉහළ ගිය ප්‍රොජෙස්ටරෝන් සාන්ද්‍රණය අඩුකිරීම සදහා හයිපොතැලමස මගින් GnRH සහ පූර්ව පිටියුටරිය මගින් FSH සහ LH හෝමෝන මෝචනය නිශේධනය කරයි. එහිදී LH හෝමෝන මට්ටම රුධිරය තුළ අඩුවීම නිසා එමගින් සජීවී බව පැවතීම සදහා දායක වූ පීතදේහය ක්‍රමයෙන් පරිහානී බවට පත්වී ශ්වේත දේහය බවට පත්වේ. එමනිසා ඉන් ඝ්‍රාවය වූ ප්‍රොජෙස්ටරෝන් සාන්ද්‍රණය අඩුවීම නිසා ගර්භාෂයික එන්ඩොමෙට්‍රියමේ රුධිර වාහිනී හැකිලී ඒවාට අවශ්‍ය පෝෂක සහ ශ්වසන වායු නොලැබී යාම නිසා එහි ඇති සෛල මියගොස් එම මියගිය සෛල සහ සංසේචනය නොවූ ඩිම්බය ඔපස් තරලය සමගින් ඔපස් වීමක් සිදුවේ. මෙම අවස්ථාවේදී රුධිරයේ ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් අවම සාන්ද්‍රණයක් පවතී.

(මෙම කොටස රූපසටහනේ Phases Of the Uterine Cycle කොටසේ Menses යන අනුකොටසට අයත් වේ.)

මෙම ඔපස් වීමත් (Menses) සමගම රුධිරයේ ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් යන හෝමෝන වල අඩුවීමත් සමගම නැවතත් හයිපොතැලමස මගින් GnRH හෝමෝනය මුදාහැරීමක් සිදුවේ. එසේ වීම නිසා එම හෝමෝනය මගින් පූර්ව පිටියුටරිය උත්තේතේජනය වී ඉන් FSH සහ LH හෝමෝන නැවතත් ඝ්‍රාවය කරයි. මෙම FSH හෝමෝනය හි ඉලක්ක අවයවය වන්නේ, ඩිම්බකෝෂ වේ. ඩිම්බකෝෂ වල පවතින ප්‍රාථමික අණ්ඩ සෛලය සහිත ද්වීගුණ ප්‍රාථමික ස්‍යුනිකා රාශියක් මතට මෙම හෝමෝනය ක්‍රියාකර එහි එක් ප්‍රාථමික ස්‍යුනිකාවක් පමණක් ද්වීගුණ ද්වීතියික අණ්ඩ සෛලය සහිත ග්‍රාපී ස්‍යුනිකාවක් බවට වර්ධනය උත්තේජනය කරයි. මෙහිදී සෑදෙන ග්‍රාපීය ස්‍යුනික සෛල මගින් ඊස්ට්‍රජන් හෝමෝනය ඝ්‍රාවය කිරීමක් සිදුකරයි.

( මෙම කොටස ඉහත රූපසටහනේ Ovarian Hormone Levels යන කොටසේ ඇති ප්‍රස්ථාරයේ පවතින Estrogen හෝමෝනයේ පළමු දින 14 දක්වා ක්‍රමික වැඩිවීම මගින් නිරූපණය වේ.)

මෙම ඝ්‍රාවය කරන ඊස්ට්‍රජන් හෝමෝනයේ ප්‍රධාන ඉලක්ක අවයවය වන්නේ ගර්භාෂය සහ පූර්ව පිටියුටරිය වේ. එමගින් ගර්භාෂයික එන්ඩොමෙට්‍රියමේ ප්‍රගුණන අවධිය සිදුවීම උත්තේජනය කරයි. එහිදී, එන්ඩොමෙට්‍රියමේ රුධිර වාහිනී, ශ්ලේෂ්මල ග්‍රන්ථි සහ එහි පටක ස්ථරය වර්ධනය උත්තේජනය කරවයි. එමනිසා ප්‍රගුණන අවධියේදී ගර්භාෂයික එන්ඩොමෙට්‍රියමේ ඝණකම වැඩිකිරීමක් සිදුකරයි. එමගින් ඩිම්බයේ සංසේචනයෙන් පසුව එහි අධිරෝපණය සදහා සුදුසු පරිසරයක් ඇතිකරයි.

( මෙම කොටස ඉහත රූපසටහනේ Phases Of the Uterine Cycle යන කොටසේ Proliferative Phase යන අනුකොටස මගින් නිරූපණය වේ.)

2 . ඩිම්බකෝෂයේ ලුටීය අවධිය (Luteum Phase) සහ ගර්භාෂයික එන්ඩොමෙට්‍රියමේ ඝ්‍රාවීය අවධිය (Secretory Phase) තුළ දී සිදුවන ඔපස් චක්‍රය සලකා ÷

ඉහතින් දැක්වූ ස්‍යුනික අවධියේදී එම ස්‍යුනිකා සෛල මගින් සෑදෙන ඊස්ට්‍රජන් හෝමෝනය මගින් පූර්ව පිටියුටරිය ට බලපෑම් ඇති කරන නිසා ඉන් LH / ලුටෙයිනිකරණ හෝමෝනය ඝ්‍රාවය වර්ධනය කරයි. එමනිසා, වර්ධනය වූ ග්‍රාපී ස්‍යුනිකා වල ඩිම්බ මෝචනය මෙම LH හෝමෝනය මගින් උත්තේජනය කරයි. මෙහිදී සිදුවන්නේ, LH හෝමෝන සාන්ද්‍රණය රුධිරය තුළ වැඩිවී උපරිම මට්ටමට පැමිණ එය ක්ෂණිකව අඩුවීමේදී, ඩිම්බකෝෂ බිත්තිය පිපිරී ඩිම්බය/ ද්වීතියික අණ්ඩ සෛලය ශ්‍රෝණි කුහරයට නිදහස් වීම සිදුවේ. ආර්ථව චක්‍රයක මෙම ක්‍රියාවලිය 14 වන දිනයේදී සිදුවේ.

( මෙය ඉහත රූපසටහනේ Gonadotrophic hormone levels යන කොටසේ ඇති ප්‍රස්ථාරයේ උපරිම මට්ටමට ලගාවී ඉන් පසුව ක්ෂණිකව අඩුවූ LH හෝමෝන සාන්ද්‍රණය පිළිබඳව සලකන්න.)

මෙම ඩිම්බ මෝචනයෙන් පසුව ඩිම්බකෝෂයේ බාහිකය තුළ ඉතිරි වූ ස්‍යුනික සෛල ස්ථර කිහිපය මගින් පිතදේහය සෑදීමට ක්‍රියාකරයි. පූර්ව පිටියුටරියෙන් ඝ්‍රාවය කරන ලද LH හෝමෝනය මගින් මෙම පීතදේහය ඇතිවීම සහ එහි වර්ධනය උත්තේජනය කරයි. මෙම පීතදේහය මගින් වැඩිමනත් ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය සහ අඩුමනත් ඊස්ට්‍රජන් හෝමෝනය ඝ්‍රාවය කරයි.

( මෙලෙස ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය, ඊස්ට්‍රජන් හෝමෝනයට වඩා වැඩි වශයෙන් ඝ්‍රාවය වීම මෙම ප්‍රස්ථාරය තුළ Ovarian hormone levels යන කොටසේදී උපරිම ප්‍රොජෙස්ටරෝන් හෝමෝන සාන්ද්‍රණයේදී නිරූපණය කරයි.)

මෙසේ පීතදේහය මගින් වැඩිමනත් ප්‍රොජෙස්ටරෝන් ඝ්‍රාවය කිරීම නිසා එය ගර්භාෂය සදහා ඉලක්ක අවයවයක් වී ගර්භාෂයික එන්ඩොමෙට්‍රියමේ ඝ්‍රාවීය ආවධිය සදහා එය දායක වේ. එහිදී ගර්භාෂයික එන්ඩොමෙට්‍රියමේ රුධිර වාහිනී සහ ශ්ලේෂ්මල ග්‍රන්ථි වඩාවැඩි වර්ධනයක් සිදුකරමින් ශ්ලේෂ්මල ග්‍රන්ථි වල දගර ගැසී ඇති ස්වාභාවය වැඩිකර්‍යි. එහිදී ශ්ලේෂ්මල ඝ්‍රාවයක් ද ඇතිවේ. එසේ ගර්භාෂයික එන්ඩොමෙට්‍රියමේ වර්ධනය ඇතිකරම්න් ඩිම්බය සංසේචනයක දී එය අධිරෝපණය සදහා සුදුසු පරිසරයක් ඇති කරයි.

(මෙය ඉහත රූපය තුළ Phase Of the Uterine Cycle යන කොටසේ Secretory Phase යන අනුකොටස මගින් නිරූපණය කරයි. එහිදී ගර්භාෂයික එන්ඩොමෙට්‍රියමේ ඝණකම එම කාළය තුළදී විශාල වශයෙන් වැඩිවීම හොදින් නිරූපණය වේ.)

මෙම ලුටීය අවධිය (Luteum Phase) සහ ඝ්‍රාවීය අවධියෙන් (Secretory Phase) පසුව සිදුවන හෝමෝනමය විචලනයන් නිසා නැවතත් චක්‍රයක් ලෙසට ඩිම්බකෝෂයේ ස්‍යුනිකා අවධිය සහ ගර්භාෂයික එන්ඩොමෙට්‍රියමේ ඔපස් අවධිය, ප්‍රගුණන අවධිය ඇතිවේ. එනම් , මෙය දින 28 කට ආසන්න වූ චක්‍රය ක්‍රියාවලියක් වේ.

giphy

මෙම ත්‍රිමාණීය නිර්මාණය (3D) තුළින් නිරූපණය වන්නේ, ඔපස් චක්‍රය තුළදී  ඩිම්බකෝෂය ආශ්‍රිතව සිදුවන අවධි සහ ගර්භාෂයික එන්ඩොමෙට්‍රියම ආශ්‍රිතව සිදුවන අවධි වේ.

එහිදී එක් කාල අන්තරයක දී ඩිම්බකෝෂය තුළදී ස්‍යුනික අවධිය සහ ගර්භාෂයික එන්ඩොමෙට්‍රියම තුළදී ඔපස්, ප්‍රගුණන අවධි (Menstrual & Proliferative Phase) සිදුවන ආකාරයත්, තවත් කාල අන්තරයකදී ගර්භාෂයික එන්ඩොමෙට්‍රියම තුළ ඝ්‍රාවීය අවධිය (Secretory Phase) සිදුවී එහි ඝණකම වැඩි කරන ආකාරයත් නිරූපණය වේ. එම කාළයේදී ඩිම්බකෝෂය තුළ ලුටීය අවධිය (Secretory Phase) සිදුවී පීතදේහ වර්ධනයක් සිදුවේ.

ඩිම්බකෝෂයෙන් මෝචනය වූ ඩිම්බය/ ද්වීතියික අණ්ඩ සෛලය ශූක්‍රාණුවක් සමග සංසේචනය වීමක් සිදුවුවහොත් ÷

යෝනිමාර්ගය තුළින් ශූක්‍රාණු ඇතුළු වුවහොත් පැලෝපීය නාළයේ විදුර කෙළවරට ආසන්නයේදී මේවා සංසේචනය විය හැකිය. ඉන් පසුව අනූනනයෙන් සෛල බෙදීමකට ලක්වෙමින් මොරුලාව නම් සෛලීය අවස්ථාව සාදයි. එහිදී, ගර්භාෂය තුළට ඇතුළු වන්නේ මෙම මොරුලාව වේ. මොරුලාව ගර්භාෂයික එන්ඩොමෙට්‍රියම තුළ අධිරෝපණය වීමෙන් පසුව සෑදෙන කළලය මගින් hCG නම් හෝමෝනය නිපදවයි. මෙම හෝමෝනය මගින් පීතදේහයේ සජීවී බව දීර්ඝකාලීන වශයෙන් ආරක්ෂා කරයි.

එමනිසා, සංසේචනයෙන් පසුව මාස 03 – 04 ක් යන තෙක් පීතදේහය මගින් හෝමෝන ඝ්‍රාවයක් සිදුවේ. මෙහිදී විශේෂයෙන්ම ප්‍රොජෙස්ටරෝන් හෝමෝන ඝ්‍රාවය අධික වශයෙන් සිදුවේ.

මෙහිදී ප්‍රොජෙස්ටරෝන් මගින් සිදු කරන ප්‍රධාන කෘතය ÷

1 . ඉහළ මෙම ප්‍රොජෙස්ටරෝන් සාන්ද්‍රණය නිසා ඝෘණ ප්‍රතිපෝෂී යාන්ත්‍රණයක් සිදුවී හයිපොතැලමස මගින් GnRh හෝමෝන ඝ්‍රාවයන් නිශේධනය කරවයි.

එමනිසා, පූර්ව පිටියුටරිය මගින් FSH, LH යන හෝමෝනයන් සංස්ලේශණය නොවීම නිසා තවදුරටත් ස්‍යුනිකා පරිණතියන් සිදුනොවී ආර්ථව චක්‍රය (Menstrual Phase) නවතී.

2 . කළලය නොකඩවා ගර්භාෂයික එන්ඩොමෙට්‍රියම මත සම්බන්ධ වී පවත්වා ගැනීම.

ස්ත්‍රියක් ගැබ් ගැනීම මුලින්ම තහවුරු කරගැනීම සදහා hCG හෝමෝනය වැදගත් වේ. එහිදී මුලින්ම රුධිරය තුළ මෙම හෝමෝනය පවතින අතර ඉන් දින කිහිපයකට පසුව මුත්‍රා තුළ මෙය අන්තර්ගත වේ.

ආර්ථවහරණය / ආර්ථවාභාවය (Menopause) ÷

නීරෝගී කාන්තාවකට වයස අවුරුදු 45 – 55 අතර කාලයේදී ඩිම්බකෝෂ සහ ගර්භාෂයික එන්ඩොමෙට්‍රියම FSH සහ LH යන හෝමෝන වලට ඇති සංවේදීතාවය අඩුවීම නිසා ඔපස් චක්‍රය (Menstrual Phase) නතර වේ. එහිදී, ඩිම්බ මෝචනය ද නතර වීමක් සිදුවේ.

0aed5c19acbb67cbcd52d1760cba0779

මෙම රූපසටහනෙන් දැක්වෙනුයේ “ආර්ථවහරණය” අවස්ථාවක් වේ.

එහිදී තරුණ (Young) සහ මහළු (Old) අවධි වලදී පවතින ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් හෝමෝන සාන්ද්‍රණයන් සලකයි.

( එය සදහා පවතින ප්‍රස්ථාරය රූපසටහනේ  පහළින් පවතී.)

ප්‍රස්ථාරයට අනුව ආර්ථවහරණය සිදුවන වයස අවුරුදු 45 – 55 අතර කාලයෙන් පසුව කාලයේදී රුධිරයේ පවතින ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් යන ලිංගික හෝමෝන සාන්ද්‍රණය අඩු අගයක් ගනී. එයට ප්‍රධානතම හේතුව වන්නේ, GnRH, FSH සහ LH යන හෝමෝන වලට ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය එම ආර්ථවහරණය වන වයස් සීමාවේදී සහ ඉන් පසුව සංවේදීතාවය අඩු වීමයි.

© D.H.S.L ( කර්තෘ )


ඉදිරි සැබැඳි ලිපිය ÷

මානව සංසේචනය (Fertilization) සහ භ්‍රෑණ විකසනය

පෙර සැබැඳි ලිපි ÷

1 . ප්‍රජනනය ( REPRODUCTIVE ) 01

ප්‍රජනනය හැදින්වීම .

2 . ප්‍රජනනය ( REPRODUCTIVE ) 02

මානව පුරුෂ ප්‍රජනක පද්ධතිය සහ ශූක්‍රාණු ජනන ක්‍රියාවලිය . ( The Human Reproductive System & Process Of Spermatogenesis )

3 . ප්‍රජනනය ( REPRODUCTIVE ) 03

මානව ස්ත්‍රි ප්‍රජනක පද්ධතිය සහ අණ්ඩෝද්භවනය ක්‍රියාවලිය . ( The Human Reproductive System & Process Of Oogenesis )


Facebook ඔස්සේ ” දිනපොත – DIARY ” පිටුව සමග මෙතනින් ®®® එකතු  වී නවතම ලිපි පරිශීලනය සදහා යොමුවන්න .

PicsArt_12-23-12.39.49
ප්‍රජනනය, විකසනය සහ වර්ධනය (Reproductive, Growth and Development) යන මාතෘකාව යටතේ පළවන ලද මෙම ලිපි පෙළ පිළිබඳව පාඨක ඔබේ වටිනා අදහස් අපගේ කර්තෘ මණ්ඩලයට දැනුම් දීම වඩාත් අගය කොට සලකන්නෙමු.

පහතින් ඔබගේ  අදහස් එකතු කරන්න .

(රූපය Click කර එම පිටුවට යොමුවන්න.)

20181228_171441

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )